වටහාගැනීමට තැත්කිරීම්
සෙනසුරාදාට යෙදී තිබුන ‘ලංකා කවය’ හමුවට ලෑස්ති වීම වැදගත් නිසා සිකුරාදා රෑ කෑමට මම නීලටත් ආරාධනා කළා. මලික් කෑම ලෑස්ති කරන්න බාර ගත්තේ ඊලඟ සඳුදා දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්මුක පරීක්ෂණයකට කැඳවා තිබීම ගැන තම සතුට ප්‍රකාශ කිරීමක් ලෙසයි (මට යටි හිතින් දැනුනේ එය නීලාට ‘ෂිල්ප දැක්වීමක්’ ලෙසයි).
කෑමට පෙර බැල්කනියේ වාඩි වී බීර උගුරක් බොන වෙලාවේ මම මගේ අදහස් ඉදිරිපත් කළා.
“මට හිතෙන්නේ අපි එදා කරපු ඇති/නැති රටවල් ගැන අපෙ ගෘප් එකේ සේරටම කියන්න වටිනවා. ඒ කියන්නේ නැතිවුන රටවල් ලැයිස්තුවක් හැටියට නෙවෙයි - ඒවා සොයාගත්ත ‘දල්පතාදු’ ක්‍රමයත් එක්ක. ඒ එකක්. ඊලඟට අපි කියන්න ඕනෑ ලංකා-කිරිබති නැතිවීමෙන් අපි ඉගෙනගත්ත දේ; ලෝකල් ටයිම් රෑ දොලහ වීම වගේ. තුන්වෙනියට අපි ඒ අයගෙ අදහස් අහන්න ඕනෑ රටවල් නැතිවීම තනි ඉවෙන්ට් එකක්ද නැත්නම් සීරීස් එකක්ද කියලා… මොකද කියන්නේ?”
“ලොජිකල්… ලලිත්ම ඔය ටික තේරුම් කරලා දුන්නොත් හොඳයි. හැබැයි ටිකක් විස්තරත් එක්ක කියන්න වෙයි, ඒ අය අපෙ දල්පතාදු ක්‍රමය පාවිච්චි කරලා නැති නිසා”
මලික්ගේ මේ වචනෙට නීලත් එකඟවුනා.
“මාත් කැමතියි ලලිත්ම මේක ගැන කතා කරනවානම්. අර තනි අවස්ථාවක්ද අවස්ථා මාලාවක්ද කියන ප්‍රශ්නේ වටිනාකම පෙන්නලා දුන්නොත් හුඟක් හොඳයි. ඒ කියන්නේ අතීතේ තේරුම් ගන්න වගේම අනාගතේ ගැන හිතලා බලන්න…”
“අනාගතය ගැන හිතලා බලනවා කියන්නේ අපිට අනාගතයක් තියෙනවද නැද්ද කියලත් එක්ක නේද?”
“ඔවු… අර ලංකාවයි කිරිබතියි නැතිවුන වෙලාවටමද බෝගන්විල් නැතිවුනේ කියලා අපි දන්නෙ නෑ. නැති එක රටක්වත් වෙන වෙලාවක නැතිවුනානම්….?”
“… ඒවගෙ රටාවක්… පැට්න් එකක්… හඳුනා ගන්න තරම් ඩේටා හම්බවුනොත් අනාගතේ යාන්තමට හරි හිතාගන්න පුළුවන්… පුළුවන් වෙන්න ඉඩ තියෙනවා… සමහරවිට”
මම කිවූ දේ ගැඹුරට හිතන්න වටින බව තේරුම් ගත්ත බවක් පෙන්වමින් පොඩි නිහඬ තාවයක් ඇති වුනා. ඒක බිඳ දැම්මේ මලික්.
“හෙට මීටිමේ කියනදේ ලලිත් ලියා ගන්නවද? තව කියන්න ඕන දේ අපිට මතක්වුනොත් මීටිමට ඉස්සර කියන්නම්… දැන් කෑම සීතල වෙන්න ඉස්සර කමුද?”
………………………………
ඉරිදා රෑ කෑමට ඉස්සර නුවර ටවුමේ බීර බොන වෙලාවේ මල්ලී ඉස්සරවෙලාම මගේ බ්‍රිස්බන් ජීවිතේ ගැන ප්‍රශ්න ඇහුවේ. කවදාවත් නැති තරමට මල්ලී සමග කිට්ටුවන්ත කමක් මට ඒ වෙලාවේ දැනුනා. ඒ වගේම මම මගෙ පවුලේ අය කොයි තරම් අමතක කළාද කියලා ලොකු ලජ්ජාවකුත් කනගාටුවකුත් දැනුනා.
අවුරුදු හතරක කාලයකදී මම ගෙදරට ලිව්වේ ලියුම් එකොලහක් තරම් සුළු ගණනක් බව ඇත්ත. එ ගැන මම දැන් කනගාටුයි. නමුත් මල්ලී මා ලිවූ ඒ ලියුම් ගණන නිවැරැදිව දැන ගැනීම ඊටත් වඩා කනගාටුවට කාරණයක්. මම ඒ තරම් ආත්මාර්ථකාමී ලෙස පවුලේ අය අමතකකර ජීවත්වූ කාලය ගෙවිය නොහැකි නයක් ලෙසයි මට දැනුනේ. මල්ලිටත් වඩා මට දුක හිතුනේ අම්මයි නංගියි ගැනයි. වෙහෙස මහන්සියෙන් අඩු පඩියකට රස්සාවක් කරන අම්මා කොයි තරම් දුක් වෙන්න ඇතිද ‘ලොකු පුතා’ පවුලෙන් අයින්වුනා කියලා? පුහුණුව ලබලත් රැකියාවක් නැති නංගී අනාගතේ ගැන මොනවා හිතුවද? මගෙන් මොන උදව්වක්/රුකුලක් බලාපොරොත්තුවුනාද? මේවා ගැන මම ටිකක්වත් හිතලා නෑ.
අනික් අතට මල්ලී - මගෙ බාල සහෝදරයට මට වඩා කාරණා තේරෙනවා. ඒ වගේම පැකිලීමක් වත් හිතේ කහටක්වත් නැතුව මේවා මට පෙන්වාදෙන්න හැකියාවත් දයාවත් තියෙනවා.
‘පවුලේ ඉන්න ඇත්තම දුප්පතා/මෝඩයා මම නේද?’ කියා හිතමිනුයි මම මල්ලී දිහාට මගෙ වීදුරුව ඉස්සුවේ.
“තෑන්ක්යූ චූටී… උඹයි පවුලේ වැඩිමලා වෙන්න තිබුනේ! මම මී හරකා වගේ අනික් අය ගැන නොසලකා පිටරට ගිහින් ජොලියේ හිටපු කාලේ උඹ තමා අම්මයි නංගියි ගැන බැලුවේ… “
මගේ කටහඬේ සැලෙන ගතියක් පැන නැගුන නිසා කතා නොකර මම බීර උගුරක් බිව්වා. මල්ලිට දැනුනා මගෙ අපහසුව. ඒකට එයාගෙ මුහුණ පුරා පැතුරුන හිනාවක් සමග ආ පිළිතුර නියමයි.
“චියර්ස් එහෙනං! ආයෙ එහෙම කරොත් පංතියේ පස්සා පේලියට දානවා!”
මටත් හිනා ගියා - ඉස්කෝලේ කාලේ මල්ලිට නිතරම පංතියේ පිටිපසට යන්න සිදුවීම ගැන මම අහලා තිබුනා.
“මොනවද චූටී දැනගන්න ඕනෑ?”
“මං එකසැරයක් ඇහුවා - එහෙ කෙල්ලෙක් හිටියද?”
“… යාළු කෙල්ලෝ හිටියා… හැබැයි දිගු කාලීන නෙවෙයි”
“ඒ එකෙක්වත් බඳින්ට හිතුනෙ නැද්ද?”
මට හිනා ගියා.
“ඒත් දිගු කාලීන නෙවෙයි!... දැන් මගෙ ප්‍රශ්නේ - චූටිට කෙල්ලෙක් ඉන්නවද?”
මල්ලී ඒක බලාපොරොත්තුවුනේ නැති බව මුහුණෙන් පෙනුනා. නමුත් උත්තර දෙන්න වෙලා ගත්තෙත් නෑ.
“ඉන්නවා… ටිකක් සීරියස් හැබැයි අයියා වගේම දීර්ග කාලීන තීරණයක් අරගෙන නෑ”
තව හාරා සොයාබලන්න ආශා හිතුනත් මම ඒ ගැන ආයෙ ඇහුවෙ නෑ - මල්ලිට හිතුන වෙලාවක මට කියයි.
“රයිට්! ප්‍රශ්නෙට ප්‍රශ්නේ හරි. ආයෙ මොනවද අහගන්න ඕනෑ?”
…………………………………
සුරාජ් ටෙලිකොන්ෆරන්ස් මීටිම පටන්ගත්තේ නම් හඬගැසීමෙන් පසුව එක් එක්කෙනාගෙන් අලුත් ප්‍රවුර්ති ඇතිදැයි අසමින්. පළමුවෙන්ම කතාකළේ අපේ බාලම සාමාජිකයා, අඩිලේඩ් නගරේ තිලකා පීරිස්.
“ගිය සතියේ මට ලංකාවේ පවුලක් මුනගැහුනා රන්ඩ්ල් මෝල් එකේ… මම නිවුස් ඒජන්ට් කඩේකට ගියා පෑන් පැන්සල් ටිකක් ගන්න. එතකොට ඇහුනා වයසක ජෝඩුවක් සිංහලෙන් කතා කරනවා - ඒ දෙන්නා ලෝක සිතියමක් හොයනවා. මං කෙලින්ම ගිහින් කතා කරා!”
සරත් සහ රමනී එගොඩවත්ත ඇඩිලේඩ් වලට ආවේ ඒ අයගෙ දුව බලන්නලු. නවසීලංතේ කාලයක් ජීවත්වුන එරන්දතී එගොඩවත්ත තම සැමියත් සමග අඩිලේඩ් ආවේ අඩිලේඩ් සරසවියේ ඉන්ජිනේරු අංශයේ පර්යේෂක තනතුරක් පිළිගෙනයි. ඇගේ නවසීලංත ජාතික සැමියත් ඒ සරසවියෙම කථිකාචාර්ය තනතුරක් ලබා ඇත්තේ මේ අවුරුද්දේ. නවසීලංත පුරවැසියෝ හැටියට ඔවුන්ට ලංකාව නැතිවීමෙන් කෙලින්ම ප්‍රශ්නයක් නොවුනත් ලංකාවේ සිට පැමිනි දෙමාපියන් පළමු සතිය ගෙයින් පිට යන්නවත් නොහැකි තරමට පිස්සුවෙන් වගේ ඉඳලා හියෙන්නේ. තිලකා හමුවුන දවසෙත් ඇඩිලෙඩ් නගරයට ආවේ දුවගෙ බලකිරීම නිසා. තිලකා ඒ ජෝඩුවට කතා කරන වෙලාවේ එරන්දතී සාප්පුව ඉස්සරහ සෝදිසියෙන් දෙමව්පියෝ දිහා බලාගෙන ඉඳලා.
“දැන් මම ඉන්නේ ඒ අයගෙ ගෙදර… මම කිව්වා මේ මීටිම ගැන. එතකොට ඒ හතරදෙනාම කිව්වා ඒ අයත් කැමතී කියලා මේ කවයට බැඳෙන්න, කවුරුත් අකමැති නැත්නම්”
සුභපැතුම් වලින් සභාව පිරිලා ගියා. තිලකගෙ කිට්ටුවෙන්ම තියෙන ප්‍රශ්න වලට යම් විසඳීමක් ලැබීම ගැන අපි හද පතුලෙන්ම සතුටුවුනා. එය හොඳින්ම වචන වලට හැරවූයේ සුරාජ්.
“මේ වගේ සුභාරංචියක් වචන වලින් විස්තර කරන්න තරම් මම දක්ෂ නෑ. නමුත් අපෙ ලංකා වටයේ තිලකා පීරිස්ට පමණක් නෙවෙයි එගොඩවත්ත පවුලේ අයටත් ලැබුන මේ … මේ ලොතැරැයි දිනුම… ගැන අපි කිව නොහැකි තරමට සතුටු වෙනවා. ලංකා කවයට අලුත් සාමාජිකයෝ හැටියට මම ඒ පවුලේ අයට අපේ පවුලට සම්බන්ධ වෙන්න කියා ආරාධනා කරන්න කැමතියි!”
පළමු වරට අපේ මීටිමක අත්පොලසන් ඇහුනේ ඒ වෙලාවේ.
පර්ත් වල චාමර පඟරගම්මන තමාට රැකියාවක් ලැබුන බව වාර්තා කරා. සිඩ්නි ඉන්න අනුලා බෝගොඩ කීප වරක් සුරාජ් හමුවීම ඊ ලඟට වාර්තාවුනා. මගේ කතාව ආවේ ඊට අනතුරුවයි.
“අපි බ්‍රිස්බන් ඉන්න තුන්දෙනා පොඩි සමීක්ෂණයක් කරා අතුරුදහන්වුන රටවල් ගැන…”
කිරිබති / ලංකා අතුරුදහන්වූ වෙලාවල් ගැනත්, දල්පතාදු ක්‍රමයට තව අතුරුදහන්වූ රටවල් හඳුනා ගැනීමේ උත්සාහය ගැනත් මම කෙටියෙන් විස්තර කළා. මේ සමීක්ෂණය දිගටම කරගෙන යෑමට උදව් අවශ්‍ය බව කියා සිටියා.
“අපි හිතුවේ මේ විදිහට… ලංකාවයි කිරිබතියි අතුරුදහන්වුනේ එකම වෙලාවට ඒ ඒ රටේ. ලෝකල් ටයිම් මිඩ්නයිට්. අපි දැක්කා තව රටවල් කීපයක් මැඩගස්කා, සීෂෙල්ස් වගේ නැතිවෙලා. පාපුවා නිව්ගිනී වලට අයිති බෝගන්විල් දූපතත් නෑ. මේවා නැතිවුනෙත් බ්‍රිස්බන් වෙලාවෙන් ඔක්තෝබර් 28/29 කාලෙද? එහෙමනම් බෝගන්විල් නැතිවුනේ 28 රෑ දොලහට (වෙලාව බ්‍රිස්බන් වෙලාවම නිසා), මැඩගස්කා 29 උදේ හතට. අපි හිතුවොත් මේ රටවල් සේරම නැතිවුනේ ඒ ඒ රටේ වෙලාවෙන් එකම වෙලාවකට නම්, ඒ කියන්නේ ලෝකේ වටේ එක රවුමක් ගිහින් තියෙනවා රටවල් නැති කරගෙන…”
කවුරුත් මොකුත් කිව්වෙ නෑ මම තව කතා කරන බව දැනගෙන වගේ.
“එහෙම ලෝකේ වටේ එක රවුමකින් වැඩ ඉවරනම්, ආයෙ රටවල් නැතිවෙන්නෙ නෑ… නමුත් හිතලා බලන්න වටිනවා ඒ වගේ සිම්පල් එක රවුමේ අතුරුදහන් වීමක්ද වුනේ කියලා”
ආයෙත් නිහඬ තප්පර කීපයක්.
“අපිට සොයාගන්න පුළුවන් නම් දැනට අතුරුදහන් වෙලා තියෙන රටවල් නැතිවුනේ කොයි දවසේ කොයි වෙලාවෙද කියලා අපිට පුළුවන්වෙයි ඊලඟට අතුරුදහන් වෙන්නේ කොයි රටද, කොයි දවසේ, කොයි වෙලාවටද කියලා!”
ඒ සැරේ හැම පැත්තෙන්ම කවයේ සාමාජිකයෝ කතා කරන්න පටන්ගත්තා. සුරාජ්ට පුළුවන්වුනා විනාඩියකින් දෙකකින් මීටිම සන්සුන් කරන්න.
“අපෙ බ්‍රිස්බන් සාමාජිකයෝ අලුත්ම අදහස් ටිකක් ගෙනත් තියෙනවා - විද්‍යාඥයෝ ඉන්න එකේ වටිනාකම! ලලිත් කිව්වා වගේ මේ නැතිවීම් එක ‘රවුමක’ කොටස්ද නැත්නම් රවුම් කීපයකට අයිතිද? ඊලඟ පරශ්නේ - නැතිවීම් තවම වෙනවද? බ්‍රිස්බන් කාන්ඩේ වෙනුවෙන් ලලිත් කියනවද අපි කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර සොයාගන්නේ කියලා?”
“මට තේරෙන විදිහට, අපි සොයාගන්න ඕනෑ නැතිවුන අනික් රටවල් ගැන; නැතිවුනේ කවද්ද, කීයටද වගේ දේ. එතකොට අපිට පුළුවන් අතුරුදහන්වීම් මැප් කරන්න… හරියට බයිස්කෝප් එකක් වගේ ලෝකේ කාලෙන් කාලෙට වෙනස්වෙන හැටි තේරුම්ගන්න. මේකට අවශ්‍ය දත්ත එකතුකරන්න පළවෙනියට දල්පතාදු ක්‍රමයට නැතිවූ රටවල් හැඳිනගන්න. අපි සේරම සහභාගි වුනොත් ඒක අපිට සතියකින් ඉවර කරලා නැතිවූ රටවල් ලයිස්තුව ශෙයා කරගන්න පුළුවන්…. ඊ ලඟට ඒ රටවල් වලින් මෙහාට ඇවිත් ඉන්න අයගෙන් තම තමාගේ රටවල් නැතිවූ දවසයි වෙලාවයි අහගන්න ඕනෑ. හැම දෙනාම දවස/වෙලාව හරියට දන්නෙ නැතුව ඇති - නමුත් ගොඩාක් අයගෙන් ඇහුවොත් හොඳ ප්‍රතිපළ ලැබෙන්න ඉඩ තියෙනවා… මේ දෙක කරගත්තොත් අපිට හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් ලෝකේ අනාගතය ගැන…”
“තැන්ක්යූ ලලිත්. ලෝකේ අනාගතය කෙසේ වෙතත් යෝජනා කරපු කාර්ය දෙක වහාම පටන්ගන්නවට මම අනුබල දෙනවා. ඒ ගැන ප්‍රශ්න තියෙනවානම් ලලිත්ගෙන් අහන්න හොඳ වෙලාව දැන්…”
ප්‍රශ්න කීපයක් සභාවෙන් මතුවුනා නමුත් එකක් වත් උත්තර දිය නොහැකි තරම් අමාරුවුනේ නෑ. ඉන් පසුව සුරාජ් කතාව එකිනෙකාගේ අවශ්‍යතාවයන් වලට හැරවුවා. ඊලඟ සතියේ හමුවීම ගැන වචන් කිහිපයකට අනතුරුව සභාවේ කටයුතු අවසන් කෙරුනා.
………………………………
මල්ලිත් එක්ක ඉරිදා කෙරුන සාකච්ඡා නිසා මම සතියම ගතකළේ සිතිවිල්ලෙන්.
මම මගේ පවුලේ අය අමතක කළේ හිතා මතා නෙවෙයි. අලුත් රටක ජීවිතේට පහසුවෙන් හැඩගැසුන මට ‘කොහෙ හිටියත් එකයි’ න්‍යායට අනුව ජීවත්වූ නිසා වෙන්න ඇති ගම අමතක වුනේ. අලුත් රස්සාවත් මට ඒකම කරයිද කියලා මට බයක් ඇතිවුනා.
ඩොක්ටර් ජයරත්නගෙ කොම්පැනියයි ජීවිතෙයි දිව්වේ එකම මාර්ගයක. කන්තෝරුව තිබුනේ ගෙදර; ජයරත්න ජෝඩුව අධ්‍යක්ෂකලා. විද්‍යාව ජයෙත් කළමනාකරණය ලක්මිණිත් බාරගෙන තිබුනා. ‘තාක්ෂණ අධ්‍යක’ හැටියට කොම්පැනියේ හිටපු එකම ‘පිට මිනිහා’ මම. පිටරට ගිහින් ගම අමතක කරා වගේ මේ රස්සාවට මුළු ජීවිතේම කැප නොකරන්න මම අදිෂ්ඨාන කරගත්තා.
“මචං ජයේ… උඹ දන්නවද මම පිටරට හිටපු අවුරුදු හතරෙම ගෙදරට එව්වේ ලියුම් එකොලහයි කියලා?”
අපි තුන්දෙනාම ජයේගෙ ගෙදර/කන්තෝරුව ඉස්සරහ මිදුලේ ජම්බු ගහ යට උදේ තේ එකක් බොන වෙලාවේ. ජයේ මා දිහා බැලුවේ අමුතු විදිහකට.
“… ඒකේ වැදගත්කම?”
“වැදගත් කමක්ම නෑ… මං කිව්වේ රට ගිහින් ලේසියෙන් ගම අමතක කරන්න පුළුවන්නම් අලුත් රස්සාව නිසාත් ඒක වෙයිද කියලා මට බයක් තියෙනවා…”
ඒ සැරේ කතාකරේ නිල්මිණි.
“ලලිත් ඇත්තටම් ගෙදර අමතක කරාද නැත්නම් ලියුම් ලියන්න කම්මැලිවුනාද? ඒ දෙක සමාන නෑ”
“මට නිතරම ගෙදර මතක්වුනා… නමුත් ඒ ගැන මොකුත් කෙරුවෙ නෑ. එකම ලින්ක් එක ලියුමක් වුනාම අම්මලා එහෙම දන්නෙත් නෑ ඒ අය ගැන මං හිතුවා කියලා…”
ජයේ හිනාවුනා.
“උඹ මොකද්ද මගෙන් බලාපොරොත්තුවෙන උත්තරේ? උඹ කිසිම වැරැද්දක් කරේ නෑ කියලා කියන්නද? නැත්තම් උඹ හරිම සෙල්ෆිශ් පොරක් කියන්නද? ඒවට උත්තර දන්නේ උඹ විතරයි. නමුත් උඹ අහපු නැති ප්‍රශ්නෙට උත්තරේ මම දැනටත් දීලා තියෙන්නේ… රස්සාවයි ගෙදරයි පවතින්නේ වෙන වෙනම - ඉන් එකකට පාඩු වෙන විදිහට ඒ දෙක මිශ්‍ර කරගත්තොත් ඒකෙන් කාටවත් ලාබයක් නෑ…”
“අපි තුන්දෙනාම වැඩ කරන්නේ පඩියට. ගෙදර ජීවිතේට හානි වෙන විදිහේ කොන්තරක් අපි ගන්නෙ නෑ. ගිය අවුරුද්දේ මාස දෙකක් ඇමතියෙකුට ටෙක්නිකල් ඇඩ්වයිසර් කෙනෙක් වෙන්න තිබුන කොන්තරක්කුව ගත්තෙ නැත්තේ ඒකයි. සල්ලි කොච්චර හොඳවුනත් ඒක ටෙක්නිකල් වලට වැඩිය පොලිටිකල් කෙලියක්. ආයෙ ගෙදර එන්න හම්බවෙන්නෙ නෑ මාසෙකට සැරයක්වත් - ඇමතියාට ඕන වෙලාවට මං එතන ඉන්න ඕනෑ. ඒ ඇමති කොච්චර හොඳ වුනත් කොන්ට්‍රැක්ට් එක අපෙ ගෙදර ඕනෑ එපාකම් වලට ගැළපුනේ නෑ…”
“මං කියන්නේ… උඹෙ එදිනෙදා ජීවිතේ පාලනය කරන්න මම මේ රස්සාවට ඉඩ දෙන්නෙ නෑ - ඒක අපි දෙන්නටම පාඩුයි. හැබැයි උඹ වීකෙන්ඩ් එකට ගෙදර යනවද ගල්කිස්සේ යනවද කියන එක උඹ අතේ!”
අපි තුන්දෙනා හිනා වෙමින් හිස් කෝප්පත් අරගෙන කන්තෝරුව ඇතුලට ගියේ අද ඉවර කරන්න තව වැඩ කීපයක්ම තියෙන නිසයි.